මැද පන්සල, දඹුලු ලෙන් විහාරයේ මහරජ විහාරය හෙවත් දෙවැනි ලෙන් ගුහාවේ තේවා කටයුත් කරන්නේ මැද පන්සල් විහාරයේ ස්වාමින් වහන්සේලාය. රංගිරි දඹුල්ලෙහි, වළගම්බා රාජ්‍ය සමයේ සිට අද දක්වාම අඛණ්ඩ සංඝ පරම්පරාවක් ඇති පුරාණතම ස්ථානය ‘මැදපන්සල’ යැයි කිවහොත් එය නිවැරදිය. වළගම්බා සමයට පෙර සිටම දඹුල්ලේ වෙනත් ස්ථානවල සංඝාවාසයන් තිබෙන්නට ඇති නමුත්, ඒවායෙහි සංඝපරම්පරාවන් අවිච්ඡින්නව පැවතියේ නැත. එහෙත් අනුරාධපුර, පොලොන්නරු, දඹදෙණි, ගම්පොල, කෝට්ටේ, මහනුවර, ආදි සැම යුගයකදීම කෙතරම් හැල හැප්පීම් තිබුණත්, දඹුලු විහාරය ආරක්ෂා කරගනිමින්, භික්ෂූන් වහන්සේලා මෙහි වැඩවාසය කළහ. උන් වහන්සේලාගේ නිවාසස්ථාන වූයේ ගල්ලෙන්ය. උන් වහන්සේලා වැඩ සිටි ලෙන් ගුහා 73 ක් පමණ තිබී ඇතත්, මෑත ඉතිහාසයේදි, උන්වහන්සේලා වැඩ වාසය කළේ, ‘ඉහළ පන්සල’, ‘මැද පන්සල’, හා ‘පහළ පන්සල’, යන නමින් යුත් එක ආසන්නයේ පිහිටි ලෙන් හා කුටි ආශ්‍රිතවය. ඒ සියලුම ආරාමවාසී වූ භික්ෂූන් වහන්සේලාම තමන්ගේ විහාරය ලෙස දඹුල්ල ලෙන් විහාරය සැලකූ අතර, ඒවායෙහි තේවා කටයුතු කරගෙන ගියහ. මහනුවර යුගයේ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ විසින් සියම් දේශයෙන් භික්ෂු උපසම්පදාව රැගෙන එනවිටත් දඹුලු විහාරය භික්ෂු වාසයෙන් තොරවීයැයි කිසිවෙකුට ඒ නිසා කිව නොහැකිය. කෙසේ වෙතත් මල්වතු අස්ගිරි දෙපාර්ශවයකට භික්ෂූන් වහන්සේලා පාර්ශ්ව ගතවීමේදී, දඹුල්ල ‘අස්ගිරි පාර්ශ්වයට’ සම්බන්ධ විය.
1/6
අස්ගිරි විහාරයේ වැඩවාසය කළ පොතුහැර රතනපාල හිමියෝ, නාවින්නේ ධම්මදස්සී හිමියන්ගේ ශිෂ්‍යයෙකි. උන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධුරයට, අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝසභාවෙන් හා කීර්ති ශ්‍රී රාජසිංහ රාජානුමැතියෙන් පත්වීමෙන් පසුව, රජතුමා විසින් දඹුල්ල විහාරයේ විහාරාධිපති තනතුරත් උන් වහන්සේටම ප්‍රදානය කරන ලදි. එහිදී රජතුමා විසින් දෙන ලද සන්නසෙහි විශේෂ සඳහනක් කරන ලද්දේය. එනම් දඹුලු විහාරයේ විහාරාධිපතිත්වය, භාරකාරත්වය, පොතුහැර රතනපාල හිමියන්ටත්, උන්වහන්සේගෙන් පසුව ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයිතිවිය යුතු බවටත්ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සිට අද දක්වා දඹුලු විහාර මැද පන්සලේ අධිපතිත්වයට පත් සෑම ස්වාමීන් වහන්සේ නමක්ම අනුපමේය සේවාවක් කළ අතර, ඉන් පොතුහැර රතනපාල, ගිරානේගම ඉන්දජෝති, ඇඹුල්අඹේ සුනන්ද, උල්පතගම චන්දජෝති, ඇරෑවුල සෝමරතන, යන ස්වාමින් වහන්සේලා අනුස්මරණීය සේවාවක් කරන ලදි. දැනට විහාරාධිපති ධුරය දරමින් කටයුතු කරන, අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේද කරගෙන යන සංවර්ධන කටයුතු ඒ ආකාරයෙන්ම, සැලසුම් සහගතව නිමකළහොත්, උන්වහන්සේද මැද පන්සල බැබළවූ යුග පුරුෂයෙකු වශයෙන් ඉතිහාස ගතවෙනු නොඅනුමානය. මැද පන්සල් භූමියෙහි 1983 දී රෝපණය කරන ලද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් වර්තමාන විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ඉතා දර්ශණීය ආරක්ෂිත බැම්මක් ඉදි කර ඇත. එහි සුවිශේෂත්වය වන්නේ, අනුරාධපුර, පොළොන්නරු, යාපහු ගල්කැටයම් සිහිපත් කරමින්, ඒ සියලුම නිර්මාණ කලු ගලින්ම නිමා කිරීමයි. එවා තව වසර සියගණනක් නිරුපද්‍රිතව පවතිනු ඇත. එසේම විහාර භූමියෙහි ඉදිකරන ලද නව බුද්ධමන්දිරය තුළ දඹුල්ල විහාරයට සම්බන්ධ ඓතිහාසික සිදුවීම් වලින් එකක්වන
2/6
ගොංගාලේගොඩ බණ්ඩාට ඔටුණු පැළඳවීමේ සිදුවීමද උන්නත නිර්මාණයක් සේ විදහා දක්වා තිබේ. පොතුහැර රතනපාල නායක හිමිපාණන් අස්ගිරි විහාරයේ වැඩ වාසය කළත්, උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා වැඩ වාසය කළේ දඹුල්ල මැද පන්සලේය. රතනපාල නාහිමියන්ගේ ශිෂ්‍ය, මඩුගල්ලේ ගුණරතන හිමියනුත්, උන් වහන්සේගේ ශිෂ්‍ය, ඇඹුල්අඹේ ඉන්දජෝති හිමියනුත්, ඉන්පසු මැද පන්සලේ අධිපති ධුරයට පත් විය. 1848 කැරැල්ලේ පුරෝගාමියෙකු වූ ගිරානේගම ඉන්දජෝති ස්වාමින් වහන්සේ වැඩ වාසය කළේද මැද පන්සලේය. ගොංගාලේගොඩ බණ්ඩාට ගිරානේගම ඉන්දජෝති හිමියන් ඔටුණු පළන්දන විට මැද පන්සලෙහි අධිපති ලෙස කටයුතු කළේ, උන්වහන්සේගේ ගුරුවරයා වූ ඇඹුල්අඹේ ඉන්දජෝති හිමිපාණන්ය. 1848 කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස දඹුල්ල විහාරයේ ඉඩකඩම් රජයට පවරා ගත් අතර, විහාරයේ පරිපාලනය අස්ගිරි විහාරයට භාරදෙන ලද්දේ ඉංග්‍රීසි පාලකයන් විසිනි. ඇඹුල්අඹේ ඉන්දජෝති හිමිපාණන් මේ වකවානුවේ වයෝවෘද්ධව සිටියේ නමුත්, තම ශිෂ්‍ය ගිරානේගම ඉන්දජෝති හිමියන් රාජද්‍රෝහී චෝදනාවෙන් බේරාගැනීම සඳහාත්, විහාර සන්තක ඉඩකඩම් බේරාගැනීම සඳහාත්, වාර ගණනාවක්ම ඉංග්‍රීසි පාලකයන් හමුවී කරන ලද සාකච්ඡා හා ආයචනා තුළින්, ගිරානේගම ඉන්දජෝති හිමියන් මෙන්ම විහාර දේපල රාශියක්ද නිදහස් කරගත හැකි විය. දඹුල්ල විහාරයේ අධිපති බවට ගිරානේගම ඉන්දජෝති හිමියන්ට පත්වීමට හැකියාව ලැබුනේද ඒ නිසාමය. ගිරානේගම ඉන්දජෝති හිමියන්ගෙන් පසුව උල්පතගම සුමංගල හිමියන්ද, ඉන්පසුව ඇඹුල්අඹේ සුනන්ද හිමියන්ද, ඉන් පසුව උල්පතගම චන්දජෝති හිමියන්ද, මැද පන්සලේ අධිපති ධුරයට පත්විය.
3/6
මැද පන්සලේ නව පරිච්ඡේදයක් උල්පතගම චන්දජෝති නාහිමියන්ගෙන් පසුව ඇති විය. උන් වහන්සේ දඹුල්ල විහාරයේ භාරකාර ධුරයට මෙන්ම, පොළොන්නරු සොළොස්මස්ථානයේ අධිපති ධුරයටද පත්වීම් ලද්දේය. ප්‍රාචීන පඩිවරයෙකු වූ උන් වහන්සේ, දඹුල්ල වළගම්බා පිරිවෙන මැද පන්සල් භූමියෙහි පිහිටුවා වදාළ අතර, තිත්තවැල්ගොල්ල, ඇරෑවුල, හා ඇතාබැඳිවැව, රජයේ විද්‍යාල ආරම්භ කරවීමටද ප්‍රොත්සාහිව කටයුතු කළහ. උල්පතගම හිමියන්ගෙන් පසුව බොකලවෙල ධම්මජෝති හිමියන් හා ඇරෑවුල සෝමරතන හිමියන් මැද පන්සලේ අධිපති ලෙස කටයුතු කළහ. වළගම්බා පිරිවෙනට පනස් වසක් පිරීම නිමිත්තෙන් කුළ දරුවන් පනස් දෙනෙකු පැවිදිකරවා, දඹුල්ල පූදේශයෙහි සාසන ප්‍රබෝධයක් ඇති කරවීමේ කාර්යභාරය ආරම්භ කරනු ලැබුයේ ඇරෑවුල සෝමරතන හිමිපාණන් වහන්සේගේ කාලයේදීය. ඒ සඳ හා වර්තමාන විහාරාධිපති අඹගස්වැවේ නාහිමියන්ගේ සහායද ලැබුණි. අවට ගම්මානයන්හී උන් වහන්සේ විසින් ආරම්භ කරන ලද ආරාමයන් අද මහා වෘක්ෂයන් බවට පත්වී විශාල දායක පිරිසකට යහපත සලසමින් තිබේ. ශාස්ත්‍රපති ඇරෑවුල සෝමරතන හිමියන්ගේ අපවත්වීමෙන් පසුව, මැද පන්සලේ අධිපති ධුරයට පත්වූයේ වර්තමාන විහාරාධිපති අතිපූජ්‍ය අඹගස්වැවේ රාහුල හිමිපාණෝය. උන් වහන්සේ රංගිරි දඹුලු ලෙන් විහාරය හා ශ්‍රී විෂ්ණු දේවාලයෙහි භාරකාරත්වයද, මාතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක ධුරයද හොබවති. ‘සද්ධර්ම කීර්ති ශ්‍රී චන්දජෝති’ නමැති ගෞරව සම්මානයෙන්ද, අස්ගිරි මහා විහාරීය කාරක සංඝසභාව මගින් පිදුම් ලද බුද්ධ පුත්‍රයෙකි. එම සන්නස් පත්‍රයන් උන්වහන්සේට පිළිගැන්වීමේ මහෝත්සවය පවත්වන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැති තුමන්ගේද සහභාගිත්වයෙනි.
4/6
මැද පන්සල දඹුලු විහාරයේ තේවා පන්සල්වල මූලස්ථානය සේ එකල පැවතුනි. 1840 දී පමණ පන්සල් වෙන වෙනම විසීරීම නිසා එම තත්වය වෙනස් විය. පසුකාලයේදී දඹුලු පාර්ශ්වය ලෙස වෙනමම කොටසක් බිහිවීම නිසා මෙම තත්වය තවත් දුරස්විය. වර්තමාන මැද පන්සලට අනුබද්ධ විහාරස්ථාන 14 ක් වෙයි. ඒවා හදුන්වන්නේ ‘මැදපන්සලට අනුබද්ධ විහාර’ ලෙසය. ඒ සියල්ලෙහි විහාරාධිපතිත්වය අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ දරන අතර, එම විහාර ගණයේ පන්සල් වලින් ප්‍රදේශයට සිදුවන සේවාවන්ද ගෞරවයෙන් සිහිපත් කළ යුතු වේ. ( මැද පන්සල් විහාර ගණයට අයත් පන්සල්. 1. මැද පන්සල වළගම්බා පිරිවෙන. 2. අතුපාරයාය බෝධිරුක්ඛාරාමය. 3. විජය ශ්‍රී සුබෝධාරාමය. කිරළගොල්ල. 4. ශ්‍රී ශෛලතලාරාමය ඇඹුල් අඹේ. 5. ශ්‍රී බෝධිරුක්ඛාරාමය, ඇතාබැදිවැව. 6. ශ්‍රී බෝධිරුක්ඛාරාමය පහළවැව. 7. තිලකරත්නාරාමය, නික්ගොල්ලාගම. 8. ශ්‍රී අශෝකාරාමය, පහළවැව. 9. ශ්‍රී ගංගාරාමය. ඉබ්බන්කටුව. 10. ශ්‍රී සෞම්‍යරත්නාරාමය, ගල්වැටියාව. 11. මිහිදු ධර්මධුතාශ්‍රම විහාරය. පැල්වෙහෙර.12. දැහැමි සුබෝධාරාමය, ඉහළ ඇරෑවුල. 13. ශ්‍රී පුණ්‍යවර්ධනාරාමය, පහළ ඇරෑවුල.14. අභිනවාරාමය, පුවක් අත්තාවල. (දැන් භික්ෂුණීන් වහන්සේලා වැඩ සිටිති) බෞකොදෙ/05/06/048 යටතේ බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි වී ඇති මැද පන්සලට සම්බන්ධ දායක ගම්මාන රැසක් වේ. බඹරගලවත්ත, පිරිවෙන පාර, හීංමොරගොල්ල, අලුත්වත්ත, කුරුණෑගල පාර, ජලාශ පාර, තුඹකරවිලවැව, පොහොරන්වැව, බෝඩ්එක හන්දිය, කුරුණෑගල හන්දිය, නගරසභා නිවාස, ආදී විශාල ප්‍රදේශයක ව්‍යාප්තවී ඇති දායක පිරිසද විශාලය. දඹුල්ල නගර සීමා බලප්‍රදේශයේ පිහිටීම එයට හේතුවකි. ව්‍යාපාරික හා රජයේ ඉහළ තනතුරු දරන්නෝද ඒ අතර වෙති.
5/6
දඹුලු විහාරයට පිවිසෙන ‘පුරාණ රජමාවත’ වැටී ඇත්තේ මැද පන්සල් භූමිය මැදිනි. ඓතිහාසික ‘සෝමාවති දාගැබ හා නටබුන්’ ඇත්තේද මැද පන්සලට යාබදවය. පැරණිම පෝය සීමා ගෙයක් ඇතුළු සියලුම විහාරංගයන්ගෙන් සමන්විත වන අතර, නව භාරකාර හිමියන්ගේ මැදිහක්වීම මත විහාරස්ථානයේ සංවර්ධන යෝජනා ක්‍රම කීපයක්ම අලුතින් ක්‍රියත්මක වෙමින් පවතී. වළගම්බා පිරිවෙන, සංගමිත්තා කුළගන සමිතිය, චන්දජෝති දහම්පාසල, හා විහාරස්ථ දායක සභාව, අතිගරු අඹගස්වැවේ රාහුල ස්වාමිපාදයන් වහන්සේගේ කාර්ය පටිපාටි පහසු කරලීම සදහා නිරන්තරයෙන්ම උන් වහන්සේ පසු පස සිටිති. දඹුල්ල විහාර හන්දියෙන් ඇති පිරිවෙන පාරෙන් හෝ කුරුණෑගල පාරේ උසාවිය හන්දිය අසලින් ඇති පිරිවෙන පාරදිගේ හෝ මීටර් 800 ක් පැමිණිවිට මැද පන්සලට ළඟා විය හැකිය. දඹුලු විහාරයේත්, ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ කටයුතුත්, මැද පන්සලේ හා සිරි වළගම්බා පිරිවෙනේ කටයුතුත්, තවදුරටත් ඉදිරියට මෙහෙය වීමට නායක හිමිපාණන්ට ශක්තිය හා නිරෝගි සම්පත්තිය උදාවේවායි පතමි.
6/6