දඹුල්ල ධර්මචක්‍ර ප්‍රතිමාව. ලෝකයේ විවිධ ආශ්චර්යමත් නිර්මාණ බිහිවෙනවා. පුද්ගලයෝ බිහිවෙනවා. සමහරු තමන්ගේ අප්‍රතිහත ධෛර්යය තුළින් අරමුණු කරා ළඟාවෙනවා. අභියෝග වලට මුහුණ නොදී කිසිම නායකයෙකුට බිහිවන්නට හැකියාවක් නැහැ. ඒ වගේම තමයි කිසිම හැල හැප්පීම් හා මත ගැටුම්වලට බඳුන් නොවී කිසිම නිර්මාණයක් බිහිවන්නේත් නැහැ. මට අද හිතුනා දඹුල්ල ප්‍රදේශයට විතරක් නෙවේ, මුලු බෞද්ධ ලෝකයටම ශ්‍රද්ධාභක්තිය වඩවන, අසිරිමත් නිර්මාණයක් ගැන තොරතුරු ටිකක් කියන්න. ඒ අසිරිමත්, විස්කම් නිර්මාණය තමයි, දඹුල්ල උයන්වත්ත රජමහ විහාරයේ පිහිටා ඇති, ධර්ම චක්‍ර ප්‍රතිමාව. දඹුල්ල ලෙන් විහාරයට නැගෙන හිර බෑවුමෙහි පිහිටා තියෙන උයන්වත්ත රජමහ විහාරය, රංගිරි දඹුල්ල රජමහ විහාරයේ තේවා කටයුතු කරන පන්සල් හතරෙන් එකක්. උන් වහන්සේලාගේ තේවා කටයුතු සිද්ධ වන්නේ දෙව්රජ විහාරය කේන්ද්‍රකරගෙන. දෙව්රජ විහාරය කියන්නේ දඹුලු ලෙන් විහාරයට ගියහම හම්බවෙන පළමුවැනි විහාර ගෙය. වෙනත් විදිහකින් කිව්වොත් විෂ්ණු දේවාලය පිහිටල තියෙන්නේ ඒ ලෙන් විහාරයෙන් වෙන් කරගත්තු කොටසක. මෙම ප්‍රතිමාවේ නිර්මාතෘවරයා වන්නේ උයන්වත්ත රජමහ විහාරාධිපති, සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක, ආචාර්ය පණ්ඩිත, ශ්‍රීමත් ඉනාමලුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේගේ හිත ඇතුලේ මේ අදහස තිබුනේ බොහෝ කාලයකට ඉස්සර ඉඳලමයි. ඒව කාටවත් කියල තිබුනේ නැති උනාට හිත ඇතුලේ පැලපදියම් වෙලා තිබුණා.
1/5
රංගිරි දඹුලු මහා විද්‍යාලයේ උන්වහන්සේ කාලයක් ඉගැන්නුවා. ඒ කාලේ පාසැලේ විනය භාර ගුරුවරයා උනේත් උන් වහන්සේ. ඒ නිසා ශිෂ්‍යයෝ උන් වහන්සේට ටිකක් බයයි. පාසලෙන් එක්තරා දවසක් අධ්‍යාපන හා විනෝද ගමනක් ගියා. ඒකේ එක ස්ථානයක් උනේ වෙහෙරහේන මහ පිළිම වහන්සේ. එවකට එය අසිරිමත් නිර්මාණයක් ලෙස ජනතාව අතර ගෞරවයට හා බුහුමනට පාත්‍ර වී තිබුණා. එවැනි මහා පිළිම තිබුනේ රජකාලේ ඒවා විතරයි. මේ මහා පිළිමෙ ළඟට ගියාට පස්සේ අපේ හාමුදුරුවෝ ඒ ගැන විස්තරයක් කියල දුන්නා. උන් වහන්සේ පුරාවිද්‍යා උපාධිධරයෙකු වීමත්, ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා තිබීමත් නිසා අතීතයේ හා වර්තමාන මහා නිර්මාණ ගැන සංසන්දනාත්මක විස්තරයකුත් ඔවුන්ට කියල දුන්නා. එතැනින් පිරිස විසිර යන අතරේ තමන්ගේ දායක පවුල් කීපයක දරු දැරියන් සිටිනු දුටු උන්වහන්සේ බලාපොරොත්තු සහගතව කීවේ, ‘මමත් කවද හරි දඹුල්ලේත් මේ වගේ පිළිමයක් නිර්මාණය කරනවා’ කියලයි. ඒ හීනේ මල්පල දැරුවේ උන්වහන්සේගේ පැවිද්දෙන් 30 වසක් සපිරි 1995 අගෝස්තු මාසේ දෙවැනිදා. එදා උදේ 9.30 ට යෙදිච්චි සුභ මොහොතින් මේ මහා යෝධ කර්තව්‍යයට මුල් ගල තැබුණා. අඩි 100 ක් උස ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුත් පිළිමයක් නෙළීම පහසු කාර්යයක් නොවේ. එක ඇඟිල්ලක නියපොත්තක් හදන්ටත් දවස් ගානක් යනවා. ඒ කාර්යය භාරගත්තේ ගම්පොළ ඇත්ගාලේ විසූ, එච්. පේමදාස චිත්‍ර ශිල්පියාය. එතුමා චිත්‍ර ශිල්පියෙකු පමණක් නොව දක්ෂ මූර්ති නිර්මාණ කරුවෙකුද උනා. මීට කලින් මෙවන් නිර්මාණයක් නොකළත්, බොහෝ විහාරස්ථානවල එතුමා ප්‍රතිමා නිර්මාණය කරල තිබුණ. කිසි දිනෙක එතුමා අභියෝග හමුවේ
2/5
පළායන්නෙක් නොවේ. ‘ඔබ වහන්සේ කියන විදිහට මම මේ වැඩේ කරල දෙන්නම්’. ඔහු කීවා. එතුමා අතට හසුවන මැටිපිඩ, හෝ බදාම හැන්ද, හෝ ‘ප්ලාස්ටර් ඔප් පැරිස්’ ටිකෙන් නිර්මාණයක් බිහිවෙන්නේ කෙසේදැයි ළඟින් ඇසුරු කළ අයට පවා සිතා ගත නොහැකිය. ඒ දෑත එතරම්ය වේගවත්ය. නම්‍ය ශීලීය. මා මෙය සඳහන් කරන්නේ කලා කරුවෙකුට නිසි ගෞරවය දැක්විය යුතු නිසාමය. ගංගා හා යමුණා ගංගාවන් එක් වන්නාක් මෙන් ගෞරවණීය නායක මාහිමිපාණන් වහන්සේ හා ශිල්පියා සමහරවිට ඒකාත්මිකව මේ කාර්යය අඟලෙන් අඟල නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කළා. එයට හේතුවූයේ ඒවාට පූර්වාදර්ශ නොවීමය. සැළසුම නායක හිමියන්ගේය. දෑත ශිල්පියාගේය. මේ සුසංයෝගයෙනි, ලොව විස්ම පත් කරවන මේ ‘ධර්මචක්‍ර ප්‍රතිමා’ වහන්සේ නිර්මාණය වූයේ. (මෙතැනදී චිත්‍රශිල්පියාගේ උපකාරයට සිටි සහායක ශිල්පීනුත්, අපෙ හාමුදුරුවන් වහන්සේගේ මෙහෙයවීමෙන් සම්බන්ධ වූ පිරිසත්, මතක් කළ යුතු වෙනවා.) ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේදී විවිධ ගැටලුවලට උන් වහන්සේට මුහුණ දෙන්නට සිද්ධ උනා. ඒත් ඒ කිසිවකට උන්වහන්සේ නවතාලීමට හැකි උනේ නැහැ. ඒ සියල්ල උන් වහන්සේ ඉදිරියේ පරාජයට පත් උනා. මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 1995 සිදු උනත්, මූලික බිම් සකස් කර ගැනීමෙන් පසු පිළිමයේ වැඩ ආරම්භ වූයේ 1997 මාර්තු 06 වැනිදා. එදා සිට වසර හතරක් ඇතුළත ඒ කියන්නේ 2001 මැයි වෙනකොට පිළිමයේ සියලුම කටයුතු අවසන් කරල විවෘත කිරීමේ උත්සවයත් පැවැත් වූවා. එදින වෙසන් පුන් පොහෝ දවසක්. දඹුල්ලට පමණක් නෙවෙයි ශ්‍රී ලාංකික සාසන ඉතිහාසයටම එය අනුස්මරණීය දවසක්.
3/5
උයන්වත්ත රන්වන් පැහැයෙන් බබලන මහා ප්‍රතිමා වහන්සේගේ කාන්තියෙන් ප්‍රභාමත් උනා. දකින දකින ජනතාවගේ දෑස් සතුටු කඳුළින් තෙත් උනා. එතැනට පැමිණි විට, නොනැමෙන හිසක්, නොනැමෙන දණක්, තිබුනේ නැහැ. සැදහැති ජනතාව බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට සාදු.. සාදු.. කියමින් වැඳ වැටෙන ආකාරය හදවත පිනායන බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව, අපේ නායක හිමිපාණන්ද පසෙක සිට බලා සිටියා. රටේ සිවු දෙසින් ජනතාව ප්‍රතිමාව වන්දනා කිරීම සඳහා පැමිණියා. මේ යෝධ කර්තව්‍යය පිළිමයකින් පමණක් නැවතුනේ නැහැ. ඒ වටා කෞතුකාගාරයක්, මකර තොරණක් ධාතු මන්දිර හතරක්, ආදී අවශේෂ අංගත් සම්බන්ධ වී තිබුණා. මේ සදහා කෝටි ගණනක මුදලක් අවශ්‍ය උනා. මේ සියල්ල සම්පාදනය කර ගැනීමට අති ගෞරවණීය නායක ස්වාමින් වහන්සේගේ දේශීය හා විදේශීය හිතවතුනුත්, සම්පත් දායකයනුත්, සතර පේරුවේ දායක දායිකාවනුත්, ප්‍රදේශවාසීනුත්, හැකි උපරිමයෙන් සම්මාදන් උනා. උන් වහන්සේ සමහර මාසවල දෙතුන් වර විවිධ රටවල හිතවත් අනුග්‍රාහකයන් හමුවීමට වැඩම කළා. උයන් වත්ත රජමහා විහාරය ‘ගෝල්ඩන් ටෙම්පල්’ ලෙස ලෝකය පුරා ව්‍යාප්ත උනේ ඊට පස්සේ. අද ඒ වටා තවත් නිර්මාණ රාශියක් ඉදිවී තිබෙනවා. ප්‍රතිමාව පිළිබදව මේ වගුවත් ඉදිරිපත් කරන්නම ඕන. මුහුණ කොටස. පළල අඩි 15 අගල් 6 යි. වැලමිට වට. අඩි 28 යි. මුහුණ වට. අඩි 48 යි. අත්ල පළල. අඩි 7 යි. නළල සිට කෙස් අගට. අඩි 08 යි. අත්ල උස. අඩි 08 අගල් 2යි.
4/5
දෙවුර අතර පළල. අඩි 47 අඟල් 3යි. මාපටඟිල්ලක දිග. අඩි 10 අගල් 6 යි. බෙල්ල උස. අඩි 03 අගල් 6 යි. දබරඟිල්ලේ දිග. අඩි 07 අගල් 5 යි. එක් කනක උස. අඩි 11 අඟ 8 යි. මැදඟිල්ලේ දිග. අඩි 07 අඟල් 7යි. කෙස් පිඩුවක උස. අඩි 01 අඟල් 2 යි. වෙදඟිල්ල අඩි 07 අඟල් 2 යි. දනමඬල දිග අඩි 72 යි. සුළැඟිල්ල දිග අඩි 07 අගල් 2යි. පිළිමයේ උස අඩි 100 එදා වියලුණු ගල්තලාවකින් යුත්වූ උයන්වත්ත භූමිය අද බුදු කරුණාවෙන් නැහැවෙන, සැදැහැවතුන්ගේ සාධුකාරයෙන් දෝංකාර දෙන ශුද්ධ භූමියක් බවට පත්වෙලා තියෙනවා. මේ පින් සිතුවිලි ඇති කරගැනීමට මග සැලසූ නාහිමිපාණන් වහන්සේට නමස්කාරවේවා. ඉතිහාසය වෙනස් කරනු ලබන මෙවැනි යුග පුරුෂයන් තව තවත් බිහිවේවා. අති ගෞරවණීය මහානායක මාහිමි පාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා. මෙවැනි කටයුතු වලට උදව් උපකාර කළ දෙස් විදෙස් ගිහි පැවිදි හැමදෙනාටම යහපතක්ම වේවා. (මෙම තොරතුරු ගත්තේ, ආචාර්ය පණ්ඩිත, ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් විසින් රචිත ‘අතීතාවර්ජනා’ නමැති ස්වයං රචිත චරිතාපදානයෙනි.)
5/5