නිදිදෙවි සමග අප සැම නිදියන අතර අලුයම පිබිද දඟලන ගිනි දෙවි අතර ආලෝකමත් කළ අපගේ දිවි කතර වෙන සුර ලියක් නොදුටිමි මම ඔබ විතර ලෙඩදුක් හැදුණු විට මට වැඩියෙන් හිතට අරගෙන බෙහෙත් සපයන නූලට තිතට එළිවෙනතුරා නිඳි වරමින් වී ළඟට කළ හෙදකමට උවමක් කිව නොහැක මට ඇඟ ලේ කිරට හරවා නොම පෙව්වාට බත්ටික අනා ගුලිකර නොම කැව්වාට දෑතින් වඩාගෙන සුරතල් නොකළාට ඔබ සම නොවන්නේ කොහොමද අම්මාට

1/2

යන එන සැම තැනම පස්සෙන් එන්නීය බාධක ළඟදි කුළු ගෙඩියක් වන්නීය මල් දම් හැමෙකක්ම මා ගෙල ලන්නීය දිවමන් සුරබි දෙන මට ඔබ වන්නීය මුලු වත්තේම ඇති හැම පඳුරක් නෑර ලැබ ඇත ඔබේ දෑතෙහි ඇති ගුණ සාර මල් ගස් කිසිවෙකට නොම දැම්මත් පෝර මැණිකෙගෙ වචන වලටම වනවා සාර. කරුණා ගුණෙන් ඔබගේ සෙත ලැබ ගත්තු වත්තේ දෙපා බුහුපා සිවුපා සත්තු නොදුනත් ළඟට විත් ඔබෙ මූණට තොත්තු සැක නැහැ මැණිකේ සසරෙදි උන් නුඹෙ පුත්තු මාසික පඩිපතට සරිලන පරිද්දෙන් දිවි හැඩගසා ගත්තෙහි පෙර පුරුද්දෙන් නහකුණු නොගෑ මහරජ සැප නොලද්දෙන් ඔබ රැක ගත්තෙ මගෙ දිවි මග වැරැද්දෙන්.

2/2

- ආනන්ද මාරසිංහ -