“බිසවුන් වහන්ස, අපේ පුත් කුමරුවන් දේවදත්ත හිමියන් සමඟ වැඩි හිතවත් කම් පෑම නම් එතරම් සුභදායී නැහැ.” “එහෙම කියන්න එපා දේවයන් වහන්ස. දෙවදත්ත කියන්නේත් බුද්ධ ශ්‍රාවකයෙක්නේ.” “ඔව් බුද්ධ ශ්‍රාවකයෙක් තමයි. එහෙත් මෑතක සිට දේවදත්ත හිමියන් බුදු හිමියන් සමග මතවාදීව ගැටුමක් ඇති කරගෙන තියෙනවා. නායකත්වය පිළිබඳව දේවදත්ත තෙරුන්ගේ රුචියක් තිබෙනවා.” “මහණුන්ට නායකත්වය පිළිබද ගැටුම් කුමටද ස්වාමීනි. ඔවුන් පැවිදිවූයේ විමුක්තිය ලබාගැනීමට නම්?” “ඇත්ත බිසවුන් වහන්ස, ඒත් මේ දේවදත්ත තෙරුන් කල්පනා කරන්නේ බුදු සසුනත් රජකම මෙන් ඥාති පරම්පරාවට අයත් දෙයක් ලෙසටයි. සිදුහත් ගෞතමයන් තුළ එවැනි පටු අරමුණු ඇත්තේ නැහැ.” “මා ඒ වගක් දැන සිටියේ නැහැ. මා සිතා සිටියේ ගෞතමයනුත් ශ්‍රාවකයනුත් සමගියෙන් කටයුතු කරනවාය කියා.” “ස්වාමීනි මහ ඇමැති සමඟ සෙබලුන් කණ්ඩායමක් යුහුසුළුව පැමිණෙනවා. කුමක් හෝ කලබලයක් හැඩයි.” පැමිණි සෙබල පිරිස වහා විසිරී, රජුගේ ආරක්ෂාව සලසමින් අවි අමෝරා ගත්හ. මහ ඇමැති රජු ඉදිරියේ ආචාර කළේය. “කිමෙක්ද මහ ඇමැති මේ කලබලය.”

1/6

“දේවයන් වහන්ස, සමා අවසර. අජාසත්ත කුමරු සිරියක් හිනේ සඟවාගෙන ඇතුල් කුටියට පිවිසීමට තැත් කළා. අපි ඔහු අත් අඩංගුවට ගත්තා. එහිදී ඔහු පාපෝච්චාරණය කළේ ඔබ තුමා මරා රජකම ගැනීමේ අරමුණින් එසේ කළ බවයි.” “ඔහුට එසේ කිරීමට අවශ්‍යතාවයක් නැහැ මහ ඇමැති. ඔහු එසේ ප්‍රකාශ කරන්නේ නම් හෙට දිනම රාජ්‍යය ඔහු වෙත සම්ප්‍රදායානුකූලව, නීත්‍යානුකූලව, පැවරීමට කටයුතු සංවිධානය කරන්න.” “බිසවුන් වහන්ස, මා කී කාරණා සත්‍ය බව පේනවා නේද? මොහුගේ මේ බල තණ්හාව ඇති වන්නට ඇත්තේ දේවදත්ත තෙරුන් හා සමීප වීමෙන් පසුව විය යුතුමය.” මහ ඇමැති ගිය පසු රජතුමා බිසවට කීවේය. බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේගේ සමීපතමයෙක් විය. ඔහු ආරාමයට ගොස් බුදුරදුන් හමුවිය. “වහන්ස, මම මගේ බලය අත් හරිමි. එය මගේ පුතණුවන්ට ලබාදෙමි. හෙට සිට ඔහු මෙරට රජ පදවියට පත්වෙනු ඇති.” “රජතුමනි ක්ෂණිකව මෙවැනි බල හුවමාරුවකට සිත මෙහෙය වූයේ ඇයි?” “හිමියනි, එය ක්ෂණිකවම සිදු වූවක් නොවේ. අජාසත් කුමරු රාජ්‍යත්වයට හුරු කරවමිනුයි සිටියේ. යමෙක් ඔහුට පෙළඹවීමක් කර තිබෙන හැඩයි එය ඉක්මනින් ලබා ගන්නා ලෙසට.” “ඔබේ බසේ ඇති සැගවුණ අරුත ඔබට විරුද්ධව ඔහු මෙහෙය වෙමින් තිබෙන බවයි. ඔබේ ආරක්ෂාව තහවුරු කර ගන්න.” “මට මගේ පුතු විශ්වාසයි හිමියනි.”

2/6

“ එය ඔබේ විශ්වාසයක් රජතුමනි. බලයක් හෝ තනතුරක් තවත් කෙනෙකු හා හුවමාරු විය හැකියි. එහිදී ඔහු ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි නිගමනය කිරීම අසීරුය. එහෙත් රජෙකුගේ මූලික පරමාර්ථයන් බිඳ නොවැටෙන සේ කටයුතු කිරීමයි ඔහුගේ වගකීම විය යුතතේ.” “එය සත්‍යයක් හිමියනි. එහෙත් අජාසත්ත කුමරු දිගු කාලයක සිට එහි පෙර පුහුණු වීම් වල යෙදෙනවා.” “එසේ විය හැකියි රජතුමනි. එසේවුවත් සමහරු බලය නමැති අසිපත අතට වන්විට අනුනුත් නසා තමනුත් නැසෙනවා.” එබසට හිස නමා ආචාර කළ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේට නමස්කාර කර මාළිගාවට ගියේය. රාජ්‍යය ලබා ගත් දෙවන දිනයේදීම අජාසත් කුමරුගේ ආඥාව වූයේ බිම්බිසාර රජු වහා අත්අඩංගුවට ගෙන සිර ගතකර තබන ලෙසයි. ඇමැති වරුන් එසේ නොකරන ලෙස කෙතරම් කීවත් ඔහු එය පිළිගත්තේ නැත. බිසව අහර බදුනක් රැගෙන සිර මැදිරියට ගියාය. “කුමක්ද ස්වාමීනි එක්වරම මේ ඇතිවූ පෙරළිය?” “අපිරිසුදු ජලය හා මිශ්‍රවීමෙන් පිරිසිදු ජලයද අපිරිසිදු වේ බිසවුනි.” බිසව බොහෝ වෙලාවක් රජු අසල රැඳී සිටියේ මහත් ශෝකයෙනි. “බිසවුන් වහන්ස, හෙට සිට ඔබ වහන්සේට රජතුමා හමුවිය හැත්කේ එක් වතාවක් බවටත්, කිසිදු අහරක් ගෙන නොආ යුතු බවටත්, රජතුමා නියෝගයක් එවා තිබෙනවා.”

3/6

ස්වභාවිකවම මිය යාවි. දේවදත්තත් බුදුන් මරා බුදු වනු ඇත. එවිට මමත් දේවදත්තත් දෙදෙනාම රජවරුය.” “එසේ නොකරන්න පුත් කුමරුනි. ඔබේ රජය තහවුරු කර ගැනීමට ඔහු මරා දැමීම නොකළ යුතු දෙයකි. එය ඔබට උරුම රජකමයි. එය පියා විසින්ම ලබාදීමටයි සිතා සිටියේ. නරක ආශ්‍රය තුළිනුයි මෙවන් අපරාධයක් නුඹ කරන්නේ. මෙය අපරාධයක් කුමරුනි. අපරාධකරුවෙක් නොවන්න කුමරුනි. මෙලොව පමණක් නොව පරලොවද දුගතිගාමී වන්නක් කුමරුනි.” “රාජ්‍ය ලබා ගැනීමට කරන කිසිවක් අපරාධ නොවේ මෑණියනි. එසේම එය සුරක්ෂිත කරගැනීම සදහා කරන කිසි දෙයකුත් අපරාධ නොවේ. අපරාධ කරුවෙකු ලෙස නම් කළ අයෙකු වෙනුවෙන් කතා කර ඔබත් රාජ්‍ය විරෝධී ගොඩට නොවැටෙන්න මෑණියෙනි.” “පුත් කුමරුනි, ඔබ වෙනුවෙන් ඔහු විඳි වෙහෙස අපමණයි. කුඩා කල සිටම ඔබ වෙනුවෙන් ඔහු කළ කැපවීම් අපමණයි. බාල ළමා තරුණ අවධියේ ඔබව ආරක්ෂා කර ගැනීමට ඔහු කෙතරම් වෙහෙස දැරුවාද?” “එය මපියා පමණක් නොව ඕනෑම මවක් පියෙක් කරන කාර්යයක්. එය ඔහුගේ යුතුකමක්. ඒ ගැන පුන පුනා කීමෙන් පලක් නැත මෑණියනි. මගේ වචනය නියෝගයක් ලෙස සිහියේ තබා ගන්න.” දේවදත්ත විසින් තම පුතුගේ සිත කෙතරම් දූෂ්‍ය කර තිබේදැයි ඇය ශෝකයෙන් සිතුවාය. උපන්දා සිට කියා දුන් හුරු කළ යහ ගුණ දම් මෙතරම් ඉක්මනින් වළලා, දෙමාපියන් මරාදැමීමට තරම් අධම සිතුවිලි ඇති කරගැනීමට තරම් තම පුතු මුග්ධ වූයේ කෙසේදැයි ඇය සිතුවාය.

4/6

“මෑණියනි මින් පසු සිපිරි ගෙය ඇති ප්‍රදේශයටවත් ඇතුලු වීමට ඔබට අවසර නැත. එදෙසට ගොස් ආරක්ෂක භටයන්ගෙන් පීඩාවට පත් නොවන ලෙස දන්වා සිටිනවා.” ‘බලය මේ තරමටම අන්ධදැයි’ සිතමින් මව් බිසව කදුළු වැකුණු දෙනෙතින් යුතුව මාළිගාව අභ්‍යන්තරයට පිය නැගුවාය. “මෑණියනි, මෑණියනි.” අජාසත්ත කුමරු ඉක්මන් ගමනින් මෑණියන් සොයාගෙන ආවේය. “ඇයි පුතණුවනි, මේ කලබලයෙන්. කුමක් හෝ කරදරයක්ද?” “නැහැ මෑණියනි. අපේ බිසවුන් වහන්සේ පුත් කුමරුවෙකු බිහිකළා.” “ප්‍රීතියි. ප්‍රීතියි. කුමරුනි. මව් බිසවත් පුත් කුමරුත් සුවෙන් සිටිනවාද අජාසත් පුතණුවනි.?” “ඔව් මෑණියනි. දෙදෙනාම සුවෙන්. අපේ පියාණනුත් මේ විදිහටම ප්‍රීතිමත් වූයේද මෑණියනි?” “මේ කියන්නේ කුමක්ද පුතණුවනි. ඔබේ පියාණන් ඔබ බිහිවූ අවස්ථාවේ හැසිරුනේ රටක් රාජ්‍යයක් දිනා ගත්තෙකු ලෙසයි. ඒ පමණක් නෙවෙයි සතියක්ම දුගී මගී යාචකයන්ට දන්දෙමින් ඒ සතුට පළකළා. මහත් සැණකෙළි පැවැත්වූවා. එහෙව් පියාණන් තමයි අද සිරගතව පීඩා විදින්නේ.” “අහෝ මෑණියනි, මට සමාවන්න. මම වහාම එතුමාණන් නිදහස් කරන්නම්.” යැයි කියූ අජාසත් කුමරු වහාම රාජදූතයෙකු සිපිරි ගෙයට යැව්වේ රජතුමා නිදහස් කරන ලෙසට නියෝග කරමින්. “මෑණියනි, අපේ පියාණන් මා වෙත කෙතරම් ලෙන්ගතු බවක් දැක්වූයේද?”

5/6

‘එහි ප්‍රමාණය කිව නොහැකියි පුතණුවනි. දවසක් ඔබේ ඇඟිල්ලෙහි කුඩා ගඩුවක් සෑදි පීඩාවෙන් අඬමින් සිටියා. ඒ වෙලාවෙහි පියාණන් ඇඟිල්ල මුවේ බහාගෙන සිටියා. ඔබේ වේදනාව අඩු වී ඔබ නැළවුනා. ඒත් පියාණන්ගේ මුවේදිම විසර ගෙඩිය පුපුරා ගියා. සැරව ඔහුගේ කෙළවලට මුසු උනා. ඒත් පියාණන් ඔබේ ඇඟිල්ල එළියට ගත්තේ නැහැ, ඔබ අඬාවි කියන සැකයෙන්. එතුමාට මුවේ තිබුණු සැරව ගිලුණා. එහෙත් එතුමා ඔබ කෙරෙහි ආදරයෙන් එය ඉවසුවා.” “අනේ මෑණියනි. මා වැනි පව් කාරයෙක්. එවන් ගුණවත් පියෙකු නොවේද මා වධයට ලක් කළේ. මෑණියනි ඉවසුව මැනවි. මමම ගොස් පියාණන් නිදහස් කරවමි.” අජාසත් කුමරු තෙමේම සිපිරි ගෙයට යාමට සූදානම් විය. “ඔබ යායුතු නොවේ කුමරුනි. පණිවිඩකරු පැමිණෙමින් සිටී. ඔහු පණිවිඩය කියූවා විය හැකියි.” බිසව කීවාය. “මපියාණන් නිදහස් කළාද?” අජාසත් කුමරු සෙබලාගෙන් විමසුවේය. “සමාවන්න රජතුමනි, මහරජතුමා දෙකකුල් පැලූ වේදනාවෙන් හා ආහාර නොලැබීමෙන් වූ දුර්වලතාවය හේතුවෙන්, මොහොතකට පෙර අපවත් වෙලා.”. “මෑණියනි මා වැනි පීතෘ ඝාතකයෙක්. මට සමාවන්න මෑණියනි. මට සමාවන්න මෑණියනි.” අජාසත්ත රජු ලෙහි අත් ගසමින්ම මෑණියන් වැළඳගෙන වැළපුණේය. “මෙය ඔබගේ මෙන්ම ඔහුගේද පෙර අකුශල කර්මයක් පළදීමක් විය හැකියි පුතණුවනි.” මව් බිසවද කුමරුන් වැළඳගනිමින් කඳුළු සලමින් කීවාය.

6/6

- ආනන්ද මාරසිංහ -