කූඹිච්චි කූඹිච්චි පැණිරස කන්න හරි ආසයි. ඒත් ඉස්කෝලෙ යන්න හරි අකැමැතියි. ඒ වගේම තමයි ගෙදර වැඩක් පලක් කරන්නත් හරිම අකැමැතියි. ඒත් එයාගෙ අම්මා හැමදාම උදේම කෑම එකකුත් හදල දීල, එයාව ඉස්කෝලෙ යවනවා. ගවුමත් මැදල, කොණ්ඩෙත් පීරල බැදල, සෙන්ට් පවුඩර් දාල, වතුර බෝතලෙත් අතට දීලයි යවන්නේ. ඒත් සමහර දවස්වල එයා ඉස්කෝලෙ යන්නේ නැතුව ඔය කොහාට වෙලා කතා කර කර ඉඳලා, විනෝද වෙලා, ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ගෙදර එනවා. ඉස්කෝලෙ ගිය බව පෙන්නන්න අරන් ගිය කෑම එකත් මගදී කනවා. ඒත් කවදාවත් ඉස්කෝලෙදි කරපු වැඩ අම්මට පෙනන්නනේ නැහැ. ඔන්න ඉතිං වාර විභාගෙ ළං උනා. හැම දෙනාම උනන්දුවෙන් විභාගෙට පාඩම් කළා. ඒත් කූඹිච්චිට විභාගෙ ගැන ගානක්වත් නැහැ. එයාට ඉතිං ලියන්න දේකුත් නැහනේ. එයා අවුරුද්දෙන් භාගයක්ම ඉස්කෝලෙ ගියෙත් නෑනේ. කොහොම හරි විභාගෙ ඉවර වෙලා ප්‍රතිඵල කීවා. වාර්තා පොත් දුන්නා. පළමු දෙවැනි තුන්වැනි ළමයින්ට තෑගිත් දුන්නා. තවත් විෂය සමගාමි තෑගිත් තිබුණා.

1/2

කූඹිච්චි පන්තියේ අන්තිමයා. එයාට එකම විෂයකටවත් ලකුණු පහකට වඩා ගන්ට බැරි උනා. ළමයින්ට තෑගි බෝගවලට අමතරව, ටොපී, චොකලට්, සීනිබෝල වගේ දේවලුත් ලැබුනා. ළමයි ඒවා ආසාවෙන් කෑවා. ගෙවල්වලට ගෙනියන්නත් තියාගත්තා. කූඹිච්චිට මොකුත් නැහැ. අනෙක එයා කිසිම ළමයෙක් එක්ක හිතවත්කමක් තියා ගත්තෙත් නැහැ. නමවත් නොකියායි රිපෝට් එක දුන්නෙත්. අන්තිමට ඉතුරු උනේ ඒක විතරනේ. එයාට හරියට දුක හිතුනා. ඇස්වලට කඳුළු ආවා. මේක මගේම වැරැද්ද එයා හිතුවා. ගුරුතුමා එයා ළඟට ආවා. “දුවට තෑගි හම්බ උනේ නැහැ නේද. ඊළඟ වාරේ දුව හැමදාම පන්ති එන්න. පාඩම් කරන්න. පාඩම කියල දෙනකොට හොඳට අහගන්න. ගෙදර ගිහිනුත් එදා කරපු පාඩම බලන්න. ගෙදර වැඩත් ඔක්කොම කරන්න.” “දුවටත් පුලුවන් පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා, වෙන්න. එතකොට දුවටත් තෑගි හම්බවෙයි. ළමයි අත්පුඩි ගහයි. අම්මලා ඒව දැකල සන්තෝෂ වෙයි.” “දුවට මම කියන එක තේරෙනවා නේද?.” “ඔව් සර්. මම ලබන වාරේ කොහොම හරි පළවෙනිය වෙනවාමයි. හැමදාම ඉස්කෝලෙ එනවා. හැම වැඩක්ම ඕනෑකමින් කරනවා. හැම අභ්‍යාසයක්ම කරනවා.” “හොඳ දුව. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. අධිෂ්ඨානයයි ඕනකමයි තියෙනවා නම්, ඕනෑම දෙයක් ලබා ගන්න පුලුවන්.” ගුරුතුමා කූඹිච්චිගෙ ඔලුව අතගාල කීවා. කූඹිච්චි පපුව පිරෙන්න ලොකු හුස්මක් ගත්තා.

2/2

- ආනන්ද මාරසිංහ -