එක දවසක් බුදුහාමුදුරුවො ගහක් යට වැඩ හිටියා. එතකොට බමුණෙක් උන් වහන්සේ වෙතට ආවා. බුදු හාමුදුරුවෝ හරි ලස්සනයි. ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තයි. හරියට අඳුරන්නේ නැති උනත් බමුණා දේහ විද්‍යාව ගැන දන්නවා. එයා බුදු හාමුදුරුවන්ට තවත් ටිකක් කිට්ටු වෙලා බැලුවා. හරි. ඔහුගේ ශාස්ත්‍රයට අනුව මෙයා ශ්‍රේෂ්ඨයෙක් . බමුණා ළඟ හිටපු සේවකයෙකුගේ කණට කරල යමක් පැවසුවා. සේවකයා ඉක්මන් ගමනින් ආපසු ගියා. වැඩි වෙලාවක් ගියේ නැහැ. අම්ම කෙනෙකුයි දුවකුයි එතෙන්ට ආවා. දුව හැබෑම ලස්සනයි. රන්වන් සිරුර. අක් බමරු දිගු කේශකලාපය. මුවැත්තියෙකුගේ වගේ කාන්තියෙන් බබලන, අඳුන් ගල්වන ලද දිගු නෙත්. රන් අබරණින් සැදි දෙසවන්. බිඹුඵලවන් දෙතොලතරින් පෙනෙන දීප්තිමත් දත්. පිරුණු කොපුල්. දෙසවන් අසලින් පහළට වැටුණු කෙස් රොදවල් කිහිපයක්. රන්අබරණින් හා මුක්තාහාරයෙන් දිදුලන දිගු ගෙල. පුන් පියොවුරු. දිගු ඇගිළි. සිහිනිග. පුළුලුකුල. පයට රන්ගිගිරි. අතට රන් වළලු. සිනිදු කසී සලුවෙන් ආවරණය කරන ලද හිස. හාව භාව ලීලාවෙන් බලන බැල්ම. ලැසි ගමන. කාගෙද ඉතිං සිත් වසී කර නොගන්නේ? කාන්තාවෝ දෙදෙනාම එතෙන්ට ආවා. බමුණත් එයට එකතු උනා. “සිද්ථාර්ථ ගෞතම, මේ මගේ දියණිය. ඇය නව යොවුන් වියේ සිටින්නියක්. ඇයට සුදුසු ස්වාමියෙකු මම සොයමින් සිටියේ. ඔබේ දේහ ලක්ෂණ දිහා බලාපුවහම මට හිතෙන්නේ ඔබ තමයි ඇයට ගැලපෙනම ස්වාමියා. කරුණාකර ඇය විවාහ කර ගන්න. අපේ සිටු මැදුරේ ඕනතරම් රන් රිදී මුතු මැණික් හා අනෙකුත් සියලුම වස්තුව තියෙනවා. එන්න මගේ දුව විවාහ කරගෙන අපේ සිටු මැදුරේම ජීවත් වෙමු.” “මේ ඔබගේ දියණියද.?” “ඔව්. ඇය හා සමාන රූපශ්‍රීය ඇති කෙනෙක් මේ උදේනී නුවරම නැහැ. රජවරුන් ඇයගේ අත පැතුවත් ඇය ඒවාට කැමැති උනේ නැහැ. සමහරවිට ඔබේ අත ගැනීමටම දෛවයෙන් නියමවී තිබෙන්නට ඇති. මාගන්දි - ඒ තරුණ ළඳ- ආදරයෙන් බුදුරදුන්ගේ මුහුණ දෙස බැලුවා. ‘මගේ අනාගත සැමියා. මම කෙතරම් වාසනාවන්තද?’ ඇයට සිතුනා. “විය හැකියි බමුණ, එසේ විය හැකියි. එහෙත් එක් දෙයක් කිව යුතුව තිබේ. රූපය ලෙස ගත් විට ඇයගේ ඡවි වර්ණය රන්වන් පාටයි. කේශය දිගයි. පිරිපුන් මාංශ කළ්‍යාණයක් තිබේ. දන්ත කළ්‍යාණයත් එසේමයි. ඇයගේ හඬත් පියකරු ඇති. බැලූ බැල්මටම ඇය රූපයෙන් අග්‍රප්‍රාප්ත බව පෙනෙනවා. එවන් රූමත් දියණියක් ලැබීම ගැන ඔබට සතුටු විය හැකියි.” “ඔව් මට හරි ආඩම්බරයි.” “එහෙත් බ්‍රාහ්මණ තුමනි, මේ හමෙන් වැසී ඇත්තේ සෙම් සොටු වලින් පිරුණු ශරීරයක්. ආලේපණ වලින් සරසා ඇත්තේ දහඩියෙන් ගඳ ගසන ශරීරයක්. මල් ගවසා සුවඳින් ආලේප කර ඇත්තේ හැලෙන ශ්වේත වර්ණයට හැරෙන කේශ කලාපයක්. ශ්වේත වර්ණයෙන් බබලන්නේ වැටෙන දිරායන කුණුකෙළවලින් ආවරණය වන දත් දෙපලක්. මේ සිරුර අශුචි බඳුනක්, පැහැපත් වස්ත්‍රයකින් ආවරණය කළාක් හා සමානයි. එවන් සිරුරක් ඇති, මෙවන් කාන්තාවක් මම කෙසේ සරණ පාවා ගන්නද.? එසේ සෙම් සොටු වලින් හා අසුචිවලින් පිරුණු මේ ශරීරය පයින් ස්පර්‍ශ කිරීමටවත් මම කැමැති නැහැ බ්‍රාහ්මණ තුමනි.”
1/2
මේ වදන් ඇසීමෙන් දියණියගේ මුහුණ ටිකෙන් ටික වෙනස් උනා. ඇගේ ඇස් කෝපයෙන් රතු උනා. දත් මිටි කැවුණා. ‘මේ තරම් පියකරු මගේ ශරීරය, අසුචි ගොඩකඩ සමාන කළ, පයින් පාගන්නවත් අකැමැති, මේ ශ්‍රමණයාට මම හොඳ පාඩමක් උගන්වමි’යි ඈ කෝපයෙන් පවසමින් ආපසු සිටු මැදුරට ගියා. ඇය ගෙදර ගිහින් එදිනම උදේනී රජ්ජුරුවන්ට පණිවිඩයක් යැව්වා, ඔහු සමග විවාහ වීමට කැමැති බවට. රජු ඉහළින්ම කැමැති උනා. ඇය විවාහ කර ගත්තා. විවාහ වූ ඇයගේ ප්‍රධාන කාර්ය උනේ බුදු හාමුදුරුවන්ට නින්දා අපහාස කිරීම. පළිගැනීම. බුදු හාමුදුරුවන්ට රිදවිය හැකි හැම ආකාරයෙන්ම රිදවීමට ඇය කටයුතු කළා. බුදුහාමුදුරුවන්ට පාරක තොටක යන්න බැහැ. පිණ්ඩපාතේ යන්න බැහැ. මිනිස්සු දොස් කියනවා උසුලු විසුලු කරනවා. පන්සලේ ඉන්නකොටත් පාරේ යන අය අවකැපෙන වදන් කියමින් යනවා. බුදු හාමුදුරුවන්ට විතරක් නෙවේ හාමුදුරුවරු හැමෝටම. මේක ඉවසන්ටම බැරිම තැන ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට මෙහෙම කීවා. “අපි වෙන පළාතකට යමු ස්වාමීනි.” “ඒ පළාත්වල මිනිස්සුත් අපට බැන්නොත්. දොස් කීවොත්.” බුදුහාමුදුරුවෝ ඇසුවා. “අපි තවත් පළාතකට යමු ස්වාමීනි.” “එහෙම පැනල යන්න ඕන නැහැ ආනන්ද. අබුද්ධිකයන්ට බැරි උනාට, බුද්ධිය මුහුකුරා ගිය අයෙකුට අපේ වචනය තේරුම් ගන්න පුලුවන්. පිය බමුණාට එය තේරුනා. ටික දවසක් යනකොට අනෙක් මිනිස්සුන්ටත් සත්‍යය අවබෝධ වේවි. ඔවුන් එවිට තමන් ගැනම කණගාටුවට පත්වේවි. නැවත අපව සොයා ඒවි. ඒ නිසා දින කීපයක් ජනතාවට අනවශ්‍ය ආකාරයට නිරාවරණය වියයුතු නැහැ. බණ භාවනාවෙන් ආරාම තුළම ගත කරන්න අනෙක් අයටත් උපදෙස් දෙන්න.” බුදුහාමුදුරුවෝ ඒ නගරෙම නැවතුනා. සති කීපයකින් ජනතාව තේරුම් ගත්තා, බුදුහාමුදුරුවෝ දේශනා කළ වචනයේ අරුත. මාගන්දි බිසව තනි උනා. සමහර විට ඔබ කියන දෙයත් නිවැරදිව අවබෝධ කර නොගත් සමහරු ඔබ සමග උරණ වේවි. අදහස් සමග ගැටේවි. ඔබ සත්‍යවාදීනම් කලබල නොවන්න. එවන් අයට එක් වරම සත්‍යය අවබෝධ කරදීමට නොයන්න. ටික දිනකින් ඔවුනටම සත්‍යය වැටහේවි. නැවත ඔබ සොයා ඒවි. එසේ නොවුනත් ඔබ කලබල විය යුතු නැහැ. හේතුව ඔහු ඔබේ ඇසුරට යෝග්‍ය නැහැ.
2/2