වැවාණෝ. ගලාගෙන එන සියලු සරුපස වැව් පතුලෙ සැඟවූ වැවාණෝ උදේ සිට හිරු රැසින් තැවුනත් මුදු සිනා රැළි නැඟු වැවාණෝ. ආඳ ලූලා කණය තෙප්පිළි කුඩමහන් හැම රැකි වැවාණෝ සුරැකි ඒ මසු මහත් අදරින් සතට දන් දුන් මහ වැවාණෝ. සතා සීපාවගේ දාහය නිවා මදහස නැඟු වැවාණෝ බුදු පුදට යන සැදෑවතුනට පස් පියුම් පුද කළ වැවාණෝ. අනඟ ධජගෙන සැඳෑ වැව් තෙර තරුණ හදවත් දිනු වැවාණෝ
1/3
මට නෙවෙයි මම, රටටමය මම වැඩ ගනිව් මොර ගැසු වැවාණෝ. අඬන හදවත් තැවෙන හදවත් සිසිල් දියරෙන් දෙව් වැවාණෝ බෝ රහස් රැක හඬින් ගොළ ගොළ නිබඳ ගිල ගත්තේ වැවාණෝ. මහා වැස්සේ දෝරෙ ගැලුවත් මුවග හසරැළි නැඟු වැවාණෝ නියඟයෙන් තැවි තැවී සිටියත් අපගෙ සරතැස නිවු වැවාණෝ. දෙකන්නෙම රන් ගොයම සරු කර අපේ පරපුර රැකි වැවාණෝ ගමට විතරක් නොවේ ලොවටම මෙතින් බත සරි කළ වැවාණෝ
2/3
හොවා මා ළය දිවා රෑ රැකි දෙවැනි මව වැනි මහ වැවාණෝ අපට අහිමිව ලොවට හිමිවෙද නුදුරු දිනයෙක මහ වැවාණෝ.
3/3