ඉබි පැංචා හරිම දඟයි.කියන දෙයක් අහන්නෙම නැහැ. අත හෝදන්නෙ නැතුව කෑම කනවා. කොණ්ඩෙ පීරන්නෙ නැතුව ඉස්කෝලෙ යනවා. දත් මදින්නේ බාගෙට. පාරෙ අයිනෙන් යන්නෙ නැහැ. පාරෙ යනකොටත් එහාට මෙහාට පනිනවා. දවසක් ඉස්කෝලෙ යනකොට ඒ විදිහට එහාට මෙහාට පනිද්දී වාහනයක හැප්පුනා. වාසනාවට ලොකු තුවාලයක් උනේ නැහැ. ඒත් අම්මා මෙයාව උස්සගෙන ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් ගියා. ලොකු අමාරුවක් මොකුත් නැහැ. “හා බබා කට අරින්න බලන්න..” දොස්තර මහත්තයා ඇවිත් ආදරයෙන් ඉබි පැංචට කීවා. ඉබි පැංචා කට ඇරියා. “අප්පේ කටේ ගඳ..ඉක්මනට ගිහින් දත් මැඳල කට හෝදගෙන එන්න.” අම්මට හරියට ලැජ්ජා හිතුන. මේ ළමයගෙ වැඩ නිසා මටයි ලජ්ජාව අම්මා කල්පනා කළා. අම්මා පුතාව වතුර පයිප්පෙ ළඟට එක්ක ගිහින් දත් මැඳල, මූණයි කටයි හෝදගෙන ආයෙත් දොස්තර මහත්තයා ළඟට එක්කන් ආවා.
1/2
දොස්තර මහත්තයා හිනා උනා. “වාඩිවෙන්න. මේ ළමයට කිසි අමාරුවක් නැහැ. අමාරුවක් තියෙනවානම් මම එළියට යවන්නෙත් නැහැ.” දොස්තර මහත්තයා ආයෙත් නලාව තියල බැලුව. අත් කකුල් ඔක්කොම බැලුව. කිසි අමාරුවක් නැහැ. “ඔය ළමයගෙ වාසනාවට කිසි අමාරුවක් නැහැ. ඒත් පේනවා නේද මේ අම්මලා බයවෙලා තියෙන තරම.” “මීට පස්සෙ අම්මලා කියන දේවල් අහගෙන, හොඳ ළමයෙක් වෙනව කියල අම්මට පොරොන්දු වෙන්න.” ඉබි පැංචා ඇස් යටින් අම්ම දිහා බැලුවා. අම්මගේ ඇස්වල සතුටු කඳුළු තිබුණා. ඒ පුතාට අමාරුවක් නැහැ කියල දොස්තර මහත්තයා කීව එකට. “මං මීට පස්සෙ අම්මට කරදරයක් කරන්නේ නැහැ. හොඳ ළමයෙක් වෙනවා.” ඉබි පැංචා හෙමීට බිම බලාගෙන කිවිවා. දොස්තර මහත්තයාගෙයි අම්මගෙයි දෙන්නගෙම මුවගට පුංචි හිනාවක් මතු උනා.
2/2