“අම්මේ ... අම්මේ... ඉවසන්න බැරියෝ.. ඉවසන්න බැරියෝ.. බඩ රිදෙනවෝ..” හා පැංචා නවත්තන්නේ නැතිව බිම පෙරළි පෙරළි කෑ ගහන්න පටන් ගත්තා. හා අම්මා වත්ත පහළ ඉඳල දුවගෙන ආවේ ඒ සද්දෙ ඇහිල. “ඇයි මගේ රත්තරං පුතේ. මොකක්ද ඔයාට තියෙන අමාරුව?” “අනේ අම්මේ, මට ඉවසන්න බැරියෝ.. බඩ රිදෙනවෝ.. බඩ රිදෙනවෝ..” පැංචා නොනවත්වාම මොර දෙමින් කීවා. “දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. අපි ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් යං.” හා තාත්තා කීවා. හා අම්මයි, හා තාත්තයි, දෙන්නම පැංචවත් උස්සගෙන විදුලිය වගේ ඉස්පිරිතාලෙට දිව්වා. දොස්තර මහත්තයා ඇවිත් පැංචව බැලුව. මෙයා ඉක්මනට ඔපරේෂන් තියටර් එකට ගන්න. සේවකයෝ දෙන්නෙක් හා පැංචා ට්‍රොලියක තියාගෙන ඔපරේෂන් කාමරේට අරන් ගියා. අම්මයි තාත්තයි බොහොම දුකින් ඒ දිහා බලාගෙන හිටියා. ඔපරේෂන් කාමරේ ඉහළින් ලොකු ලයිට් එකක් දාල තිබුණා. කොළපාට ඇඳගත්තු දොස්තර මහත්තුරු පැංචව වටකර ගත්තා. සේලයින් දුන්නා. ලේ දුන්නා. පැංචට බේතක් විද්දා. එයාගෙ ඇස් නිලංකාර උනා. ඉබේම පියවුනා.

1/2

හා අම්මයි, තාත්තයි, දෙන්නම ඉස්සරහ බංකුවේ වාඩිවෙලා අඬ අඬා හිටියා. ටික වෙලාවකින් දොස්තර මහත්තයා හිනාවෙලා එතෙන්ට ආවා. “කෝ අම්මා.?” “ඇයි සර්. පුතාට මොකද?” අම්මා කලබලයෙන් ඉස්සරහට ඇවිත් ඇහුවා. “ළමයි ගැන මීට වඩා සැලකිළිමත් වෙන්න ඕන. ළමයගේ බඩේ නියපොතු කෑලි පිරිල තිබුණ. තව පැය කීපයක් පරක්කු උනානම් යම්කිසි කරදරයක් හරි වෙන්න තිබුනා.” “දැන් බය වෙන්න දෙයක් නැහැ. ඒත් හෙට උදේ වෙනකල් දැඩි සත්කාර ඒකකයට දාන්න ඕන. බය වෙන්න දෙයක් නැහැ, හෙට උදේ වෙනකොට ඔක්කොම හොඳ අතට හැරේවි.” කියාගෙන දොස්තර මහත්තයා වාට්ටුවට ගියා. ටික වෙලාවකට පස්සේ හා පැංචා ට්‍රොලියක දමාගෙන ආවා. එයාගේ අතේ සේලයින් කටුවවත්, ලේ දෙන එකවත්, ගලවල තිබුනේ නැහැ. එයාගේ ඇස් පියවෙලා තිබුනේ. එයා කෙලින්ම දැඩි සත්කාරෙට අරන් ගියා. අම්මයි තාත්තයි දෙන්න දොරේ වීදුරු රවුමෙන් පුතා දිහා බලාගෙන හිටියා. හුඟක් වෙලාවකට පස්සෙ එයාට සිහිය ආවා. හා පැංචා ඇස් ඇරල බැලුවා. ඇස් දෙක බොඳ වෙලා වගේ. අම්මයි තාත්තයි කඳුළු පුරෝගෙන දොරෙන් බලාගෙන ඉන්නවා හා පැංචා දැක්කා. තමන්ට වෙච්චි දේ එයාට ටිකෙන් ටික මතකෙට ආවා. තාම ඇඟ හොල්ලන්නවත් බැහැ “ ආයෙනම් කවදාවත්ම නියපොතු නම් කන්නේ නැහැ.” හා පැංචා තමන්ටම කියාගත්තා.

2/2

- ආනන්ද මාරසිංහ -