“සීයේ මෙන්න සීයගෙ හැඹිළියට යෂේන් අත දානවා.” “හා .. හා.. එපා පුතේ. ඕකෙ තියෙන්නේ මගේ බුලත් පහේ ටික. අත දාන්නෙ පරෙස්සමෙන්. ගිරෙත් තියෙනවා. අත කැපෙයි. තියන්න.. තියන්න..” “.සීයෙ අද මොකක්ද කියල දෙන කතාව” තේජාන් ඇසුවා. “හ්ම්..අද මම කියල දෙන්නම් අනුන්ගේ වැඩවලට අත දාන්න ගිහින් අමාරුවේ වැටිච්ච කෙනෙක් ගෙ කතාවක්.” “මේ යෂේන් වගේද සීයේ?.” “නෑ පුතේ ඊට වඩා වෙනස්.” ඔන්න ඉස්සර ලස්සන ගමක් අයිනේ ලොකු කැලෑවක් තිබුණා. ගමේ හැමෝටම මේ කැලෑවෙන් ගොඩක් ප්‍රයෝජන තිබුණා. කෑම බීම, බේත්හේත්, මල්, පළතුරු, ලී දඬු, ඔක්කොම දේවල් මේ කැලෑවේ අඩුවක් නැතුව තිබුණා. “ඇයි සීයේ, බේත් ගන්න කැලෑවෙ ඉස්පිරිතාලෙකුත් තිබුණද?” “ඉස්පිරිතාලයක් නෙවේ පුතා. මුලු කැලේම බේත් ඉස්ටෝරුවක් වගේනේ.” “ඒ කියන්නේ?” “හැම ගහක්ම බෙහෙත්. හැම පැලෑටියක්ම බේත්. හැම කොලයක්ම, අලයක්ම, මුලක්ම, මලක්ම බේත්. ඒක නිසා හැම කෙනෙක්ම ඉස්පිරිතාලෙකට වඩා ආදරෙන් කැලේ ආරස්සා කර ගත්තා.”

1/5

“ඉතිං සීයේ?” මේ ගමේ මිනිස්සු කණ්ඩායමක් ගෙදරක ජනෙල් උලුවහු ටිකක් හදාගන්න ගහක් කපා ගන්න කතා බහ කර ගත්තා. “ගස් කපන්න හොඳ නෑනෙ සීයේ.” “හොද නැහැ තමයි.” ඒත් ඉතිං අත්‍යවශ්‍යම කාරණේකට ගහක් කපාගන්න වෙනවනේ. හැබැයි ඉතිං ඒ අය ගහ කපන්න ඉස්සර වෙලා ගහට වැඳල, සමාව අවසර අරගෙන, මෙච්චර කාලයක් සතා සීපාවාට හෙවන දුන්නට, පළ පොරෝජන ගන්ට දුන්නට, ඉස්තුති කරල තමයි, ගහ කපා ගත්තේ. හැබැයි ඉතිං අනෙක් ගස් කොළංවලට හානියක් නොවන විදිහට ගහ කපා ගන්නත් පරෙස්සම් උනා. “ඉතිං මේ මිනිස්සු බොහොම පරෙස්සමින් ගහ කපල, පට්ටලේකුත් හදල, ගහ ඉරන්න පටන් ගත්තා.” “මොකක්ද සීයේ පට්ටලය කියන්නේ.?” “පට්ටලය කියන්නේ ලී ඉරාගන්න හදාගන්න තාවකාලික අට්ටාලයක්. ඒක මුනුස්සයෙක්ගෙ උසට හදන්නේ. ඒක උඩට ඉරන්න තියෙන ලී කොටේ දාල දෙපැත්තෙන් සක්ක දෙකක් තියල, නූල් ගහල, ලණුවකින් බැඳල, එක්කෙනෙක් ලී කොටේ උඩත්, අනෙක් එක්කෙනා බිමත්, ඉඳල ඒක ඉරා ගන්නවා.” “ඒ ඉරන කියතට ‘මහ කියත’ කියල කියනවා. ‘ඉරුම් කියත’ කියලත් සමහරු කියනවා. බොහොම පරෙස්සමෙන් ඒ වැඩේ කරන්න ඕන. ඒක අනතුරු දායක වැඩක්.” ඉතිං දවසක් මේ ලී ඉරන කට්ටිය එහෙම ලී ඉරල, මහන්සියට තේ බොන්න ටිකක් ඈතින් වාඩි උනා. ඊට ඉස්සරවෙලා බාගෙට ඉරපු ලී දෙක ඈත් වෙන්න කුඤ්ඤයකුත් ගැහුවා.

2/5

ඔන්න ඔය අතරේ රිළා රංචුවක් ඔතෙන්ට ආවා. ඇවිත් එහාට පනිනවා. මෙහාට පනිනවා. පිණුම් ගහනවා. ලී කුඩු ගොඩේ පෙරලෙනවා. ලී ඉරන කට්ටියත් මේව බල බලා හිනාවෙවී තේ බීවා. ඔය අතරේ එක රිළවෙක් අර බාගෙට ඉර ඉරා තිබුණු කොටේට නැංගා. ඒ කොටේ උඩ එහාට දිව්වා. මෙහාට දිව්වා. ඒක උඩ කරණමකුත් ගැහුවා. ආයෙත් අර කොටේ උඩම වාඩි උනා. ඒ කකුල් දෙක දෙපැත්තට දාගෙන. එයා දැක්කා කොටේ ඈත් වෙන්න ගහල තිබ්බ කුඤ්ඤය. එයා කුඤ්ඤය ළඟට ගිහින් එතැන හරි බරි ගැහිල වාඩිවෙලා, අත් දෙකෙන්ම කුඤ්ඤය අල්ලා ගත්තා. වට පිට බැලුවා. කුඤ්ඤය ටිකක් හෙල්ලුවා. ම්හු. හෙල්ලෙන පාටක් නැහැ. හරි හයියයි. ආයෙත් හෙල්ලුවා. ආයෙත් හෙල්ලුවා. ආයෙත් හෙල්ලුවා. ඩිංගක් හෙල්ලුනා. එයාට හරි සන්තෝසයි. එයාගෙ වැඩේ අතෑරියේ නැහැ. මෙයාගෙ සන්තෝසෙ කොච්චර ද කියනවානම්, එයාගෙ නැට්ට අර ඉරාපු ලී දෙක මැදින් පහළට වැටිල තියෙනවාවත් ගානක් නැහැ. දැන් කුඤ්ඤය ටික ටික බුරුල් වෙනවා. රිළවට හරි සතුටුයි. එයාගෙ උනන්දුව වැඩි උනා. වැඩේ ඉක්මන් උනා. එකපාරටම කුඤ්ඤය ගැල උනා. ඈත් වෙලා තිබුණු ලී පලුදෙක ළං උනා. එයාගෙ නැට්ට ලී පලු දෙකට හිර උනා. එහාට දැඟලුවා. මෙහාට දැඟලුවා.ඒත් නැට්ට ගලව ගන්න බැරි උනා. එයා මරහඬ දෙන්ට පටන් ගත්තා.

3/5

බිම හිටපු රිළා රංචුවම ඒ සද්දෙට පැනල ගස්වලට නැංගා. නැඟල හැංගිලා බලාගෙන හිටියා. වැඩිහිටි රිළව් දෙතුන් දෙනෙක් හෙමීට කිට්ටු කරල බැලුවා. ගලව ගන්න විදිහක් නැහැ. ගස්වල හිටපු රිළව් “කෑස්.. කෑස්” කියල කෑ ගහන්න පටන් ගත්තා. කුඤ්ඤයට අහු උන රිළවා ඔවුන් දිහා බැගෑපත්ව බැලුවා. ඒත් එයාට තනිවම ගැලවෙන්නවත් තව කෙනෙකුට ගලව ගන්නවත් බැරි විදිහට හිරවෙලා හිටියේ. මේ අතරේ තමන් ලී ඉරපු පැත්තෙන් එක පාරටම ආපු මරහඬ තැලීම මොකක්ද බලන්න ලී ඉරාපු කට්ටියත් පොල්ලකුත් අරගෙන දුවගෙන ආවා. බැලින්නම් රිළවෙක් කොටේට අහුවෙලා. “ මෙයත් ලී ඉරන්න ඇවිත්.” එකෙක් හිනාවෙලා කිව්වා. “ අපි දැන් මූට මොකද කරන්නේ?” අනෙකා ඇහුවා. “මොනව කරන්නද. තමන්ට අයිති නැති වැඩ කරන්න එනවට පොල්ලෙන් දෙකක් දීල කැලේට විසි කරනවා මිසක්.” “නෑ සතා මරණ එක පව්. අපි මූව බේරල අරිමු. මේක මතක තියෙනව නම් ආය කවමදාකවත් මේ වගේ අනුන්ගේ වැඩවලට අතදාන එකක් නැහැ.” ඊට පස්සෙ දෙන්නම එකතු වෙලා අර ගැලවුණු කුඤ්ඤය ආපහු කොටේට ගැහුවා. ලීය ඈත් උනා. ‘දොහ්’ ගාල රිළවා බිමට වැටුනා. ඌ ටික වෙලාවක් එහෙමම හිටියා. ඊට පස්සෙ හෙමීට නැගිටලා ගාට ගාට ළගම තිබිච්චි ගහකට නැංගා. මේක බලාගෙන රිළා තාත්ත කෙනෙක් තමන්ගෙ පුතාට මෙහෙම කීවා.

4/5

“පේනවා නේද තමන්ට අයිති නැති වැඩ කරන්න ගියහම සිද්ධවෙන දේවල්.? ඔයාලත් ඒවගෙන් පාඩමක් ඉගෙන ගෙන තමන්ට අයිති නැති වැඩ නොකර ඉන්ට පුරුදු වෙන්න ඕන.” රිළා පැටියා ඇස් දෙක කරකවලා, බෝල කරල, තාත්තා දිහා බැලුවා. මොකුත් කීවේ නැහැ. “සීයේ අපේ ටිච කියල දුන්නේ රිළවා මරල කැලේට දැම්මා කියල.” “ඔව් පුතේ එහෙම තියෙනවා. ඒත් සත්තු මරණ එක පවුනේ. මම ඒකයි ඌ බේරල ඇරියේ. කමක් නෑනේ.?” තමන්ට අයිති නැති දේවල් කරන්න ගියහම සිද්ධවෙන දේ පේනවානේ.

5/5

- ආනන්ද මාරසිංහ -