අන්දරේ රාජමාළිගාවට ආපු දවසක රජතුමා අන්දරේට කීවා, නතරවෙලා දවල්ට කෑම ටිකකුත් කාල යන්න කියල. අන්දරෙත් ඒක සතුටින් පිළිගත්තා. රජ්ජුරුවෝ දහවල් ආහාර මෙහෙය අවසන් කරල අරක්කැමියාට කිව්වා අන්දරේගේ බඩ පිරෙන්නම කන්න දෙන්න කියල. අරක්කැමියත් පෙරැත්ත කර කර ඇඟිල්ලක් ගහන්න බැරි තරමට අන්දරේට කැව්වා. කෑම කාල ඉවරවෙනකොටම රජතුමත් එතෙන්ට ආවා. “තව ටිකක් කමු අන්දරේ.” “අපෝ බෑ දේවයන් වහන්ස. ආයනම් බත් ඇටයක්වත් කන්න බැරි තරමට බඩ පිරිල.”. අන්දරේ වතුර ටිකකුත් බීල අතත් හෝද ගත්තා. “අන්දරේ කිරි පැණි තියෙනවා කනවද.?” අරක්කැමියා ඇහුවා. “කිරිපැණි තියෙනවානම් ටිකක් කමු.” අන්දරේ කීවා. අරක්කැමියා කිරි පිඟානක්ම බෙදල පැණිත් දැම්මා. අන්දරේට දුන්නා. අන්දරේ ඒක කකා ඉන්න කොට රජතුමා ආපහු ආවා. “ඇයි අන්දරේ කීවානේද මොකුත්ම කන්න බැරිතරමට බඩ පිරිලා කියලා.?” “එහෙමයි දේවයන් වහන්ස.” “හොඳයි එහෙනම් කෑම කාල මාව හමුවන්න.” කියපු රජතුමා මාළිගාවට ගියා. කෑම කාල අන්දරේත් රජතුමා හමුවීමට ගියා. “අන්දරේ තා බොරු කියන්නෙකි. ඒ වරදට මා තොපට කසපහර විස්සක් නියම කරමි.” අන්දරේ අන්දුන් කුන්දුන් උනා. මේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි උනා. “සමාවන්න දේවයන් වහන්ස. දඩුවමට පෙර වරද කුමක්දැයි දැනගැනීමට තැමැත්තෙමි.” “මා විමසන විට බත් ඇටයක්වත් කෑ නොහැකියැයි කී තොප නැවත මා යනවිට කිරි පිඟනක්ම බුදිමින් සිටියේය.” “මා බොරුවක් කීවේ නැත.දේවයන් වහන්ස.” “එසේ තා ප්‍රකාශ කළේ නැතිද?”
1/2
“ප්‍රකාශ කළෙමි. එහෙත් කිරි තිබෙන බව කීමෙන් පසු ඉඩ සදා ගතිමි.” “තා කියන්නේ අපබ්‍රංශයකි. එය මට නොතේරේ. බත් ඇටයක් කෑමටවත් ඉඩ නැති බව කී තා කිරි පිඟානක්ම කෑවේ කෙසේද? තා එය ඔප්පු නොකළොත් දඬුවම දෙගුණ කරමි.” “බත් ඇටයක්වත් කෑ නොහැකි බවට කීවේ ඇත්තෙකි. කිරි ඇති බව කීමෙන් එයට බඩ ඉඩ හදා ගත් බවත් ඇත්තෙකි. මම එය ඔප්පු කර පෙන්වමි.” “දේවයන් වහන්ස, කුඩා කාමරයකට සිරකරුවන් දමා පුරවනු මැනවි.” රජ්ජුරුවන්ගේ අණ පරිදි සිරකරුවන් කාමරයට ඇතුල් කරන ලද්දේ කිසිදු ඉඩක් නොසිටින පරිද්දෙනි. ඒ තුළට තවත් කෙනෙකු ඇතුල් කරනු තබා සිතීමවත් කළ නොහැකි තරමට සිරකරුවන් තෙරපී සිටියහ. අන්දරේ රජතුමා සමග ඒ අසලට ගියේය. උස්හඩින් කතා කළේය. “රජතුමාට අර බිත්තිය ස්පර්ශ කිරීමට අවශ්‍යයි. හැම දෙනාම එතුමාට එතැනට යාමට මදක් ඉඩ දෙනු.” සිරකරුවෝ තෙරපෙමින් මිරිකෙමින් එකා උඩ නගිමින් ඉඩකඩ සලසා දුන්හ. “දේවයන් වහන්ස, ඇගිල්ලක්වත් ගැසීමට ඉඩක් නැතැයි කී මේ තුළට තව කී දෙනෙකුට ඇතුලු විය හැකිදැයි බලනු මැනවි. කිරිපැණි තිබෙන බව කී හෙයින් මමද බඩේ ඉඩ සාදා ගතිමි එය මුසාවක් නොවේ..” “උඹතමයි දවසකටවත් මිනිහ අන්දරේ.” රජු සිනාසී කීවේය. Photo - ytimg.com
2/2